මානව ඉතිහාසය අධ්‍යනය කිරිමේදී සන්නිවේදනයට හිමිවන්නේ ඉතාමත් වැදගත් ස්ථානයක්. විවිධ සන්නිවේදන ක්‍රම පිළිබඳව අපට සාක්ෂි හමුවන්නේ ක්‍රි.පූ 206 වැනි ඉතා ඈත අතීතයේදී. මිනිසාගේ පරිණාමයත් සමඟ සන්නිවේදන තාක්ෂණයද ක්‍රමයෙන් දියුණු වුනා වගේම එයට අවස්ථා කිහිපයකදීම උත්ප්‍රේරක ලෙස නව සොයා ගැනීම් කිහිපයක් එකතු වුනා. 1831 වර්ෂයේදී ෆැරඩේ විසින් විද්‍යුත් චුම්භක තරංග සොයා ගැනීම, 1876 වර්ෂයේදී ඇලෙක්සෙන්ඩර් ග්‍රැහැම් බෙල් විසින් දුරකථනය සොයාගැනීම, 1895 වර්ෂයේදී ගුග්ලීල්මො මාකෝනි විසින් රැහැන් රහිත සන්නිවේදන ක්‍රම ඉදිරිපත් කිරීම වැනි සොයාගැනීම් ඒ අතුරින් ප්‍රධාන තැනක් ගන්නවා. මේ විදියට දිනෙන් දින දියුණුවට පත්වුන සන්නිවේදන තාක්ෂණය අද වනවිට සෑම පුද්ගලයෙකු සතුවම ජංගම දුරකතන එකක් හෝ කීපයක් අනිවාර් යයෙන් තිබෙන තත්වයට පත්වෙලා. ජංගම දුරකථන ගැන කතා කරද්දී මේ දිනවල නිතර ඇහෙන වචනයක් තමයි 5G කියන්නේ. ඇත්තටම 5G කියන්නේ මොකද්ද? 5G වලින් අපට ඇති වාසිය මොකද්ද? ඒ ගැන පොඩි හැදින්විමක් තමයි අපි මේ ලිපියෙන් ඔබට ලබා දෙන්න සුදානම.


5G කියෙන්නේ මොකද්ද කියල හොයල බලන්න කලින් අපිට හොඳට අහල පුරුදු 3G, 4G වචන වලින් පටන් ගනිමු. ජංගම දුරකථන සන්න්නිවෙදන තාක්ෂණයේ විකාශය අනුව පරම්පරා එහෙම නැත්නම් generations කිහිපයකට කොටස් කරලා තිබෙනවා. 3G කියන කෙටිනාමයෙන් 3rd generation එහෙම නැත්නම් තුන්වන පරම්පරාවේ දුරකථන, 4G කියන කෙටිනාමයෙන් 4th generation එහෙම නැත්නම් හතරවන පරම්පරාවේ දුරකථනද ,5G කියන කෙටිනාමයෙන් 5th generation එහෙම නැත්නම් පස් වන පරම්පරාවේ දුරකථනද හඳුන්වනු ලබනවා. පස්වන පරම්පරාවේ දුරකථන ගැන කතා කරන්න කලින් අපි මේ පරම්පරා එහෙම නැත්නම් generations ගැන පොඩි අවබෝධයක් ලබා ගෙන සිටිමු.


පළමු පරම්පරාව - 1st  Generation (1G )


පළමු පරම්පරාවේ ජංගම දුරකථන ජාලයක් මුල් වරට ලෝකයේ වාණිජමය වශයෙන් ආරම්භ වන්නේ 1979 වසරේදී. ඒ ජපානයේ ටෝකියෝ නගරයෙන්. 1981 වසර වනවිට යුරෝපයටත් 1983 වසර වන විට ඇමරිකා එක්සත් ජනපදයටත් ව්‍යාප්ත වුන ජංගම දුරකථන තාක්ෂණය ලංකාවට නම් ආවේ 90 දශකයේ මැද භාගයේදී. ඇනලොග් වර්ගයේ මෙම පරම්පරාවේ දුරකථන වල ප්‍රධාන ගැටළු කීපයක්ම තිබුණා. ජංගම දුරකතන ජාලයන්ගේ ව්‍යාප්තිය අඩු වීම නිසා ඉතා අඩු පරාසයක සේවාව, විශාල දුරකථනය, මිළ අධික වීම. ජාත්‍යන්තර ඇමතුම් පහසුකම නොමැති වීම. කි.මි 150 ක පමණ පරාසයක් ආවරණය කරන විශාල කුළුණු , එක කුළුණකින්  සීමිත පාරිභෝගිකයින් ප්‍රමාණයකට සේවා සැපයීම ඒ අතර ප්‍රධාන තැනක් ගත්තා.


දෙවන පරම්පරාව - 2nd   Generation (2G )


පළමු පරම්පරාවේ ජංගම දුරකථන මත ඇතිවූ සීමාසහිත පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ලෝකයට ඇතිවුනේ ඉතා ඉක්මනින්. එම අවශ්‍යතාවන් අනුව 1982 වසරේ යුරෝපයේ පිහිටුවා ගත් Groupe Special Mobile (GSM) කමිටුව විසින් ඩිජිටල් තරංග ඔස්සේ සම්ප්‍රේෂණය වන ජංගම දුරකථන ජාලයක් හඳුන්වා දෙනු ලැබුවා. මෙම හඳුන්වාදීම ජංගම දුරකථන ඉතිහාසයේ යෝධ පිම්මක් ලෙස නම් කරොත් එය ඉතා නිවැරදියි. එයට හේතුව උනේ පළමු පරම්පරාවේ දුරකථන වල තිබු සියලු සිමාවන් සහ ගැටළු වලට පිළිතුරු වලටත් එහා යමින් දත්ත හුවමාරුව, අන්තර්ජාල පහසුකම් , කෙටි පණිවිඩ (SMS ) ආදී නවතම සේවාවන් රැසක් මේ ඩිජිටල් තරංග ජාලය විසින් ලබා දීමයි. 1990 වසර පමණ වන විට ලොව පුරා වාණිජ මට්ටමින් මෙම දෙවන පරම්පරාවේ දුරකථන ජාලයන් ව්‍යාප්ත වූ අතර 1992 වසරේදී Groupe Special Mobile (GSM) කමිටුව Global System for Mobile Communication ලෙස නම් කෙරුනා. 90 දශකයේ අග භාගය වනවිට ලාංකීය ජනතාවටද මෙම GSM දුරකථන සේවාවන් ලබා ගැනීමට අවස්ථාව හිමිවූ අතරම අද වනවිට බිලියන 7.8 ක් වූ ලෝක ජනගහනයෙන් බිලියන 5.16 ක පමණ ජංගම දුරකථන සම්බන්ධතා හිමිව තිබෙනවා.
GSM තාක්ෂණයේ වැදගත්ම ලක්ෂණය වන්නේ දෙවන පරම්පරාවෙන් පසුව තෙවන, සිව්වන හා පස්වන පරම්පරා දක්වා තාක්ෂනය වැඩි දියුණු වුවත් දුරකථන ජාලයේ මුලික අංගයන් නොවෙනස්ව පැවතීම. ඒ නිසා තමයි අදටත් ඔබට දෙවන පරම්පරාවේ ජංගම දුරකතනයක් එහෙම නැත්නම් 2G ෆෝන් එකක් බාවිතා කිරිමේ හැකියාව තිබෙන්නේ. ඒ වගේම තමයි අද නිපදවන නවීන 4G , 5G  ෆෝන් වලත් දෙවන පරම්පරාවේ දුරකථන ජාලයන්ට සම්බන්ධ වීමේ හැකියාව සහිතව තමයි නිපදවෙන්නේ.
අපි දැන් GSM දුරකථන ජාලයේ ක්‍රියා කාරිත්වය ගැන පොඩි උදාහරණයක් බලමු. හිතන්න ඔබ ඔබේ මිතුරෙකුට ජංගම දුරකථනය මගින් ඇමතුමක් ගන්නවා කියල. ඔබව මුලින්ම සම්බන්ද වන්නේ ඔබට කිට්ටුම දුරකථන කුලුනට එහෙම නැත්නම් base Transceiver station එකට. එතනින් base station controller  එකට. මේ BSC එක කියන්නේ BTS කිපයක් සම්බන්ද වල ප්‍රදාන කුළුණක්. BSC එකෙන් mobile switching center එකට MSC එක කියන්නේ දුරකථන සේවාව අයත් ප්‍රධාන පරිපාලන මුලස්ථානය. එතනින් නැවතත් මිතුරාගේ දුරකතනය අයත් ප්‍රදේශයේ BSc ,BTS  හරහා මිතුරා සම්බන්ද වනවා.


තුන්වන පරම්පරාව - 3rd Generation (3G )


කාලයත් එක්කම 2G  දුරකථන වල පහසුකම් සහ දත්ත හුවමාරුවේ වේගය සීමාසහිත බව ලෝකයාට දැනෙන්න පටන් ගත්තා . මේ වනවිට අන්තර්ජාලයත් තරමක් ජනප්‍රිය යි . දෙවන පරම්පරාවේ 64 kbps ක් වූ ඉතා සුළු දත්ත හුවමාරු වේගය 8 Mbps දක්වා  කීප ගුණයකින් වැඩි කරමින් තුන්වන පරම්පරාවේ ජංගම දුරකථන බිහි වන්න පටන් ගන්නේ 2003 වසරේ හොන්ග් කොන්ග් හි හචිසන් ටෙලිකොම් ආයතනය වානිජමය 3G  ජාලය ලොවට හඳුවදිමත් සමග. 3G ජාලයන්හි අධිවේගී දත්ත හුවමාරුවත් සමගම ජංගම දුරකථනය තව දුරටත් ඇමතුමක් ගැනීමට පමණක් යොදා ගන්නා යන්ත්‍රයක් නොවෙනවා. දෙවන පරම්පරාවත් සමග කුඩා වූ දුරකථනය නැවතත් විශාල විමට පටන් ගත්තා . නමුත් 3G දුරකථන ජාලයන් හි ව්‍යුහය 2G ව්‍යුහය ම නිසා දුරකථන සමාගම් වලට ඉතා ලෙහෙසියෙන් 3G පහසුකම් ජනතාවට ලබා දෙන්න පුළුවන් වුණා.


හතරවන පරම්පරාව - 4th Generation (4G )


2009 වසරේදී ස්වීඩනයේ TeliaSonera ආයතනය විසින් වානිජමය වශයෙන් හඳුන්වාදුන් හතරවන පරම්පරාවේ දුරකථන වල ප්‍රධානම ලක්ෂණය තමයි දත්ත සම්ප්‍රේෂණය වල වේගය තවත් කීප ගුණයකින් වැඩි විම. එය සාමාන්‍යයෙන් 50 Mbps ක පමණ වෙනවා. අද ලෝකයේ 5G තාක්ෂණය ගැන කතා කරත් ලංකාව නම් තවමත් හතරවන පරම්පරාවේ දුරකථන බාවිතා කරන්නෙත් ටිකක් අඩුවෙන්. එයට හේතුව විදියට අපට පෙන්වා දෙන්න පුළුවන් හේතුව තමයි ජංගම දුරකථන ජාලයනට එක වරම සම්පුර්ණයෙන් 4G ජාලයක් ගොඩ නැගීමට ඇති බාධක. මොකද 2G වලින් 3G වලට යද්දී දුරකථන ජාලයේ ලොකු වෙනසක් නොමැති උනාට 4G දුරකථන ජාලයේ උපාංග තරමක් වෙනස්. ඉතින් එක වරම 4G පමණක් වන ජාලයක් ගොඩ නැගුවොත් මෙතෙක් ඔබ භාවිතා කල 2G ,3G  දුරකථන භාවිතයට ගන්න නොහැකි වෙනවා. එම නිසා දුරකථන සමාගම් පැරණි ජාලයන් පවත්වාගනිමින් ම තමයි 4G ජාලය ගොඩ නගන්නේ. මෙතැනදී ආවරණ කලාප වල ව්‍යාප්තිය අඩු විම, දත්ත සම්ප්‍රේෂණ වේගය බලාපොරොත්තුවන තරම් නොමැති වීම වගේ අපහසුතා ජාලය ව්‍යාප්තිය සිදුවනතෙක් ඇත විඳින්න සිදුවෙනවා.  තාක්ෂණික වශයෙන් 4G දුරකථන ජාලයක ප්‍රධාන වෙනස් කම විදියට ඉහත උදාහරණයේ පෙන්වපු BTS සහ BSC සම්ප්‍රේෂණ කුළුණු වෙනුවට ඔබේ ජංගම දුරකථනය  සම්බන්දවන eNodB නැමති කුළුණක් ලැබීම මෙම eNodB  බොහෝ වෙලාවට දුරකථන සමාගමේ ප්‍රධාන පරිපාලනය හා සම්බන්ධ වන්නේ Fiber optic රැහැන් මගින්.


පස් වන  පරම්පරාව - 5th Generation (5G )


පස් වන පරම්පරාවේ එහෙම නැත්නම් 5G දුරකථන ජාලය බිහිවෙන්නේ හුදෙක් දුරකථන හා අන්තර් ජාල පහසුකම් අරමුණු කරගෙනම නෙවෙයි. වර්තමාන මෙන්ම අනාගත ලෝකයේ ඩිජිටල් කරණය වී ඇති, තව දුරටත් වෙමින් පවතින කර්මාන්ත හා මිනිසුන්ට සැපයෙන සේවාවන් හි ස්වයංක්‍රියකරණය ඉලක්ක කර ගනිමින් ඉතා විශාල දත්ත සම්ප්‍රේෂණ වේගයක් සහ අඩු ශක්ති පිරිවැයක් ඉලක්ක කර ගනිමින් නිමවුණු පලවෙනි පරම්පාරව 5G  ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම පස්වන පරම්පරාවේ අරමුණ 100% ක් ම ජාල ගත වු මනුෂ්‍ය සමාජයක්. දත්ත සම්ප්‍රේෂණ වේගය සැලකුවොත් 1Gps අවමයකට යටත් වූ වේගයක් අධිවේගී දුම්රියක් තුල වුවත් ලබා ගැනීමට අපේක්ෂාවක් තිබෙන මෙම ජාලයේ ස්ථායි පුද්ගලයෙකුට ලබා ගත හැකි වේගය 10Gbps වැනි උපරිමයකට යා හැකි බව පැවසෙනවා.

zinnov.com


5G දුරකථන ජාලයක තාක්ෂනික ව්‍යුහය බැලුවොත් අපට BTS ,NodB ,eNodB වැනි නම් වලින් ලැබුණු ජංගම දුරකථන කුලුන වෙනුවට එක ප්‍රදේශයක ඉතා කුඩා කුළුණු (small  Cells ) කිහිපයක් දක්නට පුළුවන්. මේ හැම cell  එකක්ම Cloud network  එකක් මගින් තමයි දුරකථන සේවා සපයන සමාගම සමග සෘජුවම සම්බන්ද වෙන්නේ. මෙම small  cell  එක ගොඩනැගිල්ලක් ඇතුලේ තිබෙන Wi-Fi Router  එකක් තරම් කුඩා එකක් වෙන්නත් පුළුවන්. එවිට අත්වන ප්‍රදාන වාසි දෙකක් තිබෙනවා. ඔබේ දුරකථනය සම්බන්ද වෙන්නේ ලංගම තිබෙන කුළුණක ක්‍රියාවලිය කරන small cell එකට. ඉතින් ඔබට ඉතා හොඳ තත්වයේ signal strength එකක් ලැබෙනවා, ඒ වගේම ඔබේ දුරකතනයේ බැටරිය වැඩි කාලයක් තබා ගන්නත් හැකියාව තිබෙනවා. 5G ජාලයක වර්ග 1KM තුල සම්බන්ද විය හැකි උපාංග ප්‍රමාණය මිලියනක් පමණ වෙනවා. මෙය 4G ජාලයක නම් 4000 ක් පමණ ඉතා සුළු අගයක් ගන්නේ.
මේ වන විට ලංකාවෙත් පධාන ජංගම දුරකථන සමාගම් සාර්ථක මට්ටමෙන් 5G  සේවාව අත් හදා බලා තිබෙන නිසා ඉතා නුදුරේදීම අපටත් 5G සේවාවක් ලබා ගැනීමට පුළුවන් වේවි. ඉතින් ඔබ ඔබේ මිළඟ දුරකථනය මිලට ගන්න පෙර 5G දුරකතනයක් මිලදී ගැනීම පිලිබඳ හිත යොමු කරොත් හොඳයි කියා අපි යෝජනා කරනවා.